පුද්ගලික නාලිකා

පුද්ගලික මාධ්‍ය සම්ප්‍රාප්තිය------

ජාතික ගුවන් විදුලිය නම් මහා වෘක්ෂයට කෙමෙන් අභාග්‍ය
සම්පන්න කාලයක් උදාවූයේ  80 දශකයේ වුවද,90 දශකය
පුරා එය තවදුරටත් වැඩි වර්ධනය විය.ඒ ශ්‍රී ලංකාව තුල දී
ප්‍රථම වරට පුද්ගලික ගුවන් විදුලි හා රෑපවාහිණී සේවා ආරම්භ
වීමත් සමගය.සම්ප්‍රදායික ගුවන් විදුලි රටාවෙන් හෝ පාලන
රටාවෙනි පැහැර වන්නට නොහැකි වූ ජාතික ගුවන් විදුලියට
සිරස ගුවන් විදුලියේ ආරම්භයත් සමග ඒ හා සමගාමීව බිහිවූ
තවත් සිංහල - ඉංග්‍රීසි පුද්ගලික සේවා ගණනාවකගේ ද මහත්
අභියෝගය පිළිගැනීම අනිවාර්ය විය.
මේ නිසා විවිධ පරිපාලන වෙනස්කම් යටතේ විවිධාකාර වූ 
වෙනස්කම්,සංශෝධන,නීති-රීත වැඩිකිරීම්,ලිහිල් කිරීම් ආදී වූ
නන් ආකාරයේ ක්‍රියාදාමයන් තුලින් තමන් මුහුණ දී සිටින අභියෝග
ජයගන්නට ජාතික ගුවන් විදුලිය ගත් පියවර කිසිසේත් පූර්ණ සාර්ථක
බවකට හේතු සාධක නොවූ බව පිළිගත යුත්තකි. 
වැඩසටහන් අන්තර්ගතය අතින් වේවා ආර්ථික අතින් වේවා ජාතික 
ගුවන් විදුලිය දිනෙන් දින පසුගාමී විය.එතෙක් පැවති රජයන් ද 
ගුවන් විදුලියේ මෙම අභාග්‍යසම්පන්න තත්වය සමහන් කිරීමට කැපී 
පෙනෙන පියවරක් ගැනීමට උනන්දු නොවීය.ආයතන ප්‍රධානීන් ලෙස 
මාධ්‍ය හෝ පරිපාලන දැනුමෙන් තොර දුබලයන් පත් කිරීමෙන් 
ඒ බව සනාථ වේ.එම්.ජේ.පෙරේරා,එස්.බී.සේනානායක,
රොනී ද මෙල්,නෙවිල් ජයවීර,කේ.එච්.ජේ.විජේදාස,රිජ්වේ 
තිලකරත්න,කුමාර් අබේසිංහ වැනි පරිපාලන ක්ෂේත්‍රයේ 
දැවැන්තයින් සිය අණසක වර්ධනාත්මක ලෙස පතුරැවා හැරි 
ආයතනයක මේ දුබලයන් හිටු පිනුම් ගැසුවේ මාධ්‍ය පමණක් 
නොව මුලු මහත් දේශය ම කණපිට පෙරලවමිනි.
පුද්ගලික ගුවන් විදුලි මාධ්‍යයන්ගේ අභියෝගය ජාතික විද්යුත් 
මාධ්‍යන්ට පමණක් නොව රජයටදඑල්ල වන්නක් බව පැහැදිලි
වත්ම 1996 දී රජය එක් තීරණාත්මක හා අභියෝගාත්මක වූ
තීරණයක් ගත්තේය.ඒ අනුව 1996නොවැම්බර් 15 වෙනිදා
ලක්හඩ නමින් නව ගුවන් විදුලි සේවයක් ආරම්භ විය.ශ්‍රී ගංකා
ගුවන් විදුලි සංස්ථාවේ පරිපාලන ව්‍යුහය යටතේ ක්‍රියාත්මක වුවද
ලක්හඩ - බොහෝ දුරට දැඩි පරිපාලන නීති රීති  වලින් මිදුනේය.
වාරණ අවම විය.නිදහස් ගුවන් විදුලි රටාවක් ඒ තුලින් බිහිවිය.
වාචික වැඩසටහන් අතින් ද ,සංගීතයෙන් ද,ප්‍රවෘත්ති සහ කාලීන
සිදුවීම් විර්තාකරණයඅතින් මෙන්ම ඉදිරිපත් කිරීම් අතින් ද 
සාම්ප්‍රදායික ගුවන් විදුලියට මෙන්ම පුද්ගලික ගුවන් විදුලියට ද
ආවේනිකව පැවති ක්‍රියාදාමන්ගෙන් බැහර වූ  නව ගුවන් විදුලි 
රටාවක් ලක්හඩ තුලින් බිහිවූ නිසාම එය ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ 
නාලිකාවක් බවට පත්විය.වැඩසටහන් අතින් මුල් තැනට පත්වුවද
විකාශන පද්ධතියේ දුර්වලතා නිසා එම වැඩසටහන් දිවයිනේ සියලු
ප්‍රදේශ වල ජනතාවට එකසේ ග්‍රහණය කර ගැනීම අපහසු විය.
විනාශන පද්ධතිය දියුණූ කර ලක්හඩ දීප ව්‍යාප්ත ලෙස විසුරැවා 
හැරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට
හිමි නොවුවා පමණක් නොව ඒ පිළිබද දැඩි අවශ්‍යතාවක් ද ඔවුන්ට
නොවීය.මේ තත්ත්වය යටතේ  දිවයිනේ ප්‍රථම රූපවාහිනී සේවය වූ
ස්වාධීන රූපවාහිනියේ අනුබද්ධ ගුවන් විදුලි නාලිකා ව බවට 1997
අප්‍රේල් 01 වන දින සිට පත්විය.ආරම්භයේ සිටම ගුවන් විදුලි 
පරිශ්‍රයේ නව මැදිරි සංකීර්ණයේ එක් කොටසක ලැගුම් ගත් ලක්හඩ 
2001අප්‍රේල් 08 වන දිනදී ස්වාධීන රූපවාහිනියේ -ඇසිදිසි නිවස-
නව ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙහි  ඉදිවුන මැදිරි හා කාර්යාලීය
සංකීර්ණය, තම නව වාසස්ථානය කර ගත්තේය.එම නව මැදිරි
සංකීර්ණය ,නව තාක්ෂණයෙන් පිරිපුන් ඩිජිටල් උපකරන වලින් 
සමන්විත විය.